ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් වත්මන් ගැටුම “භයානක නව අදියරකට” අවතීර්ණ වී ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි (Esmaeil Baghaei) පවසයි. මෙම ප්‍රහාර මගින් සිවිල් වැසියන්ට මෙන්ම පරිසරයට ද දැඩි හානි සිදුවන බැවින් ඒවා යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලෙස සැලකිය හැකි බව ඔහු අවධාරණය කරයි.
‘X’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් බගායි මහතා සඳහන් කළේ, තෙල් ගබඩා ඉලක්ක කිරීම මගින් විෂ සහිත රසායනික ද්‍රව්‍ය වාතයට මුදා හරින බවත්, එමගින් සිවිල් වැසියන් විෂ වීමට ලක්වන අතරම මහා පරිමාණ පාරිසරික විනාශයක් සිදුවන බවත්ය. මෙම මානුෂීය සහ පාරිසරික ව්‍යසනයේ බලපෑම ඉරාන දේශසීමාවෙන් ඔබ්බට ද ව්‍යාප්ත වනු ඇති බවට ඔහු අනතුරු අඟවයි. ඉරානයේ මෙම චෝදනාවලට අනුව මෙම ප්‍රහාර ජන සංහාරක ක්‍රියාවන් (Genocide) ලෙසද ඔවුන් හඳුන්වයි.
කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් නදාව් ශෝෂානි (Lt Col Nadav Shoshani) ප්‍රකාශ කළේ මෙම තෙල් ගබඩා බැලස්ටික් මිසයිල සඳහා අවශ්‍ය ඉන්ධන නිපදවීමට සහ ගබඩා කිරීමට යොදා ගන්නා බවයි. එබැවින් ඒවා නීත්‍යානුකූල මිලිටරි ඉලක්ක (Legal military targets) බව ඔහු මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කළේය. බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් දෙපාර්ශ්වය අතර මෙලෙස මත ගැටුම් උත්සන්න වීම කලාපීය සාමයට දැඩි තර්ජනයක් වී තිබේ.














