ලෝකයේ බලශක්ති සැපයුම තීරණය කරන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා තෙල් නැව් ගමනාගමනයට අවසර දීම සඳහා ඉරානය අතිශය තීරණාත්මක කොන්දේසියක් පනවා තිබේ. ඒ අනුව, එම මාර්ගය භාවිත කරන තෙල් නැව් සඳහා වන සියලු ගෙවීම් අමෙරිකානු ඩොලර් වෙනුවට චීන ‘යුවාන්’ (Yuan) මුදලින් පමණක් සිදු කළ යුතු බව ඉරාන බලධාරීන් අවධාරණය කරයි. CNN පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙය අමෙරිකානු ඩොලරය මත පදනම් වූ ගෝලීය තෙල් වෙළඳාමට (Petrodollar) එල්ල කළ ප්‍රබල අභියෝගයකි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ ප්‍රධාන තෙල් මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපතට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාරවලින් පසු ඉරානය මෙම තීරණයට එළඹ ඇත. ඉරානය පවසන්නේ අමෙරිකානු සම්බාධක හමුවේ තම ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට සහ ඩොලරය අවියක් ලෙස භාවිත කිරීම පරාජය කිරීමට මෙම ‘යුවාන්’ කොන්දේසිය අත්‍යවශ්‍ය බවයි. මේ අතර, මෙම අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බ්‍රෙන්ට් වර්ගයේ බැරලයක් ඩොලර් 116 ඉක්මවා ගොස් ඇති අතර, එය 2022 වසරෙන් පසු වාර්තා වූ ඉහළම අගයයි.
මෙම තත්ත්වය ඉන්දියාව වැනි තෙල් ආනයනය කරන රටවලට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, ඉරානය විසින් මෑතකදී ඉන්දියානු ධජය යටතේ පැමිණි ගෑස් (LPG) නැව් දෙකකට පමණක් විශේෂ අවසරයක් ලබා දී තිබුණි. චීනය වසර ගණනාවක සිට තෙල් වෙළඳාම සඳහා තම මුදල් ඒකකය ප්‍රචලිත කිරීමට උත්සාහ කළද, ඉරානය විසින් එය මෙලෙස බලහත්කාරයෙන් කොන්දේසියක් ලෙස පැනවීම ගෝලීය ආර්ථිකයේ දැඩි වෙනසකට මඟ පාදනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.














