ලොව තෙල් ප්‍රවාහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සිදුවන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය ධජය සහිත තෙල් නැව්වලට ගමන් කිරීමට ඉරානය අවසර ලබාදී ඇති බවට පළවන වාර්තා ඉරාන බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දීය රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකින් පසු මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි. කෙසේ වෙතත්, එවැනි කිසිදු ගිවිසුමක් ඇති නොවූ බව විදේශයන්හි සිටින ඉරාන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය අඟහරුවාදා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ ඉරාන විදේශ අමාත්‍ය සෙයියඩ් අබ්බාස් අරග්චි අතර පැවති දුරකථන සාකච්ඡාවෙන් අනතුරුව, ඉන්දීය නෞකාවලට ආරක්ෂිත ගමන් මගක් ලබාදීමට සහතික වී ඇති බව මුලින් වාර්තා විය. නමුත් ඉරාන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිල නිවේදනයක දැක්වුණේ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින අනාරක්ෂිත තත්ත්වයට අමෙරිකාව වගකිව යුතු බවත්, එහිදී ඉන්දීය නෞකා පිළිබඳ විශේෂ සඳහන් කිරීමක් සිදු නොවුණු බවත්ය.
පසුගිය පෙබරවාරි අග භාගයේ යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකා 16කට පමණ ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන්දීය වරායක් බලා යාත්‍රා කරමින් තිබූ තායිලන්ත නෞකාවකට ද පසුගියදා ප්‍රහාරයක් එල්ල විය. ඉන්දියාවේ බොරතෙල් අවශ්‍යතාවයෙන් 40%ක් පමණ සපයා ගනු ලබන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහාය. මෙම අර්බුදය හේතුවෙන් ලෝකයේ තෙවන විශාලතම තෙල් පාරිභෝගිකයා වන ඉන්දියාවට රුසියාව වැනි විකල්ප වෙළෙඳපොළවල් වෙත යොමු වීමට සිදුව තිබේ.














