ඉරානය විසින් කිසිදු සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවත්, තම රටට සිදුවූ හානි සඳහා පූර්ණ වන්දි ගෙවන තෙක් යුද්ධය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි (Abbas Araghchi) අද (01) ප්‍රකාශ කළේය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සටන් විරාමයක් ඉල්ලා ඇති බවට කළ ප්‍රකාශයත් සමඟ මෙම දැඩි ප්‍රතිචාරය එල්ල වී තිබේ.
ඉරානයේ ‘IRIB’ පුවත් ඒජන්සිය වාර්තා කරන පරිදි, ඉරානය කරුණු පහකින් යුත් සටන් විරාම සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවට පැතිර යන පුවත් හුදෙක් මාධ්‍ය ප්‍රචාර පමණක් බව විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය. “ආක්‍රමණිකයාට දඬුවම් පමුණුවන තෙක් සහ ඉරානයට සිදුවූ හානි සඳහා පූර්ණ වන්දි ගෙවන තෙක්” සටන් විරාමයකට එළඹීමේ සූදානමක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජනාධිපති ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කළේ සටන් විරාමයක් සලකා බැලීමට නම් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ යුතු බවයි. එහෙත් ඉරානය එම කොන්දේසි මෙන්ම සටන් විරාම සාකච්ඡා පිළිබඳ පුවත් ද සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීම නිසා මැදපෙරදිග කලාපීය යුදමය තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරෙමින් පවතී.
















