ඉරානය විසින් අමෙරිකානු ප්‍රහාරක යානයක් වෙඩිතබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි තම ගුවන් නියමුවා මුදාගත් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපති ට්‍රම්ප් සිය ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ සිය හමුදාවන් විසින් අදාළ ගුවන් නියමුවා මුදාගත් බවයි. කෙසේ වෙතත් ඉරානයේ හමුදා මූලස්ථානය උපුටා දක්වමින් එරට තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ එම ගලවා ගැනීමේ මෙහෙයුම අසාර්ථක වූ බවයි.
දකුණු ඉස්ෆහාන් කලාපයේදී සිය හමුදා විසින් අමෙරිකානු ගුවන් යානයක්, බ්ලැක්හෝක් හෙලිකොප්ටර් දෙකක් සහ C-130 වර්ගයේ හමුදා ප්‍රවාහන යානයක් ඇතුළු යානා කිහිපයකට ප්‍රහාර එල්ල කර විනාශ කළ බවත්, ඒවා තවමත් ගිනි ගනිමින් පවතින බවත් ඉරානය පවසනවා. මේ වන විට කාන්තාර ප්‍රදේශයක ගුවන් යානයක දුම් දමන සුන්බුන් පෙන්වන වීඩියෝවක්ද ඉරානය විසින් මුදාහැර ඇති අතර ඉරාන කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ්ද මේ සම්බන්ධ ඡායාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් අමෙරිකාව මෙතෙක් නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නැහැ.














