ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ ඉස්ලාමීය පාලකයින් විසින් සිය සමාජ මාධ්‍ය උපායමාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් දැවැන්ත තොරතුරු යුද්ධයක් ආරම්භ කර ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි. සයිබර් විශේෂඥයන්ට අනුව ඉරානයේ විදේශීය බලපෑම් මෙහෙයුම් මේ වන විට ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය ඔවුන්ගේ හමුදාමය ප්‍රතිප්‍රහාරවලට අමතරව ඇමරිකාවට සහ ඊශ්‍රායලයට දැඩි සදාචාරාත්මක පීඩනයක් එල්ල කිරීම සඳහා නිර්මාණය කර ඇති “අසමමිතික” ප්‍රචාරණ ව්‍යාපාරයකි. මෙහිදී X (ට්විටර්), Instagram සහ Bluesky වැනි සමාජ මාධ්‍ය ජාල ඉලක්ක කරගනිමින් ඇමරිකාව තුළ පවතින යුද විරෝධී ආකල්ප සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අතර ඇති මතවාදයන් ප්‍රයෝජනයට ගැනීමට ඉරානය උත්සාහ කරයි.
මීට පෙර ස්කොට්ලන්තයේ නිදහස හෝ අයර්ලන්තය එක්සත් කිරීම වැනි විවිධ කරුණු සම්බන්ධයෙන් ඉරානය පවත්වාගෙන ගිය සන්නිවේදන ක්‍රමවේදයන් අතහැර දමා දැන් ඔවුන් සම්පූර්ණයෙන්ම අවධානය යොමු කර ඇත්තේ ඊශ්‍රායල-ඇමරිකානු විරෝධී පණිවිඩයක් සමාජගත කිරීමටයි. මෙම තොරතුරු යුද්ධයේ වඩාත්ම භයානක අංගය වන්නේ කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද වීඩියෝ සහ මීම් භාවිත කිරීමයි. ඒ යටතේ ඇමරිකානු USS Abraham Lincoln ගුවන් යානා ප්‍රවාහන නෞකාවට සාර්ථක ප්‍රහාර එල්ල කරන ආකාරය පෙන්වන ව්‍යාජ දර්ශන, ඊශ්‍රායලයේ තෙල් අවිව් නුවර ගොඩනැගිලිවලට ප්‍රහාර එල්ල වී ඇති බව පෙන්වන සකස් කළ දර්ශන සහ ඉරාන ප්‍රතිප්‍රහාර හමුවේ ඊශ්‍රායල සෙබළුන් බියෙන් හඬා වැලපෙන ආකාරය දැක්වෙන ව්‍යාජ වීඩියෝ ප්‍රචාරය කෙරේ.
මෙමගින් ඉරානය බලාපොරොත්තු වන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය සිය යුද මෙහෙයුම් සීමා කිරීමට පොළඹවන ආකාරයේ මහජන මතයක් සහ මානසික බිඳවැටීමක් ඇති කිරීමයි. කෙසේ වෙතත් සයිබර් ආරක්ෂක අංශ මේ වන විට මෙවැනි ව්‍යාජ තොරතුරු හඳුනා ගැනීමට සහ ඒවා පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරතව සිටී. කෘතිම බුද්ධිය හරහා නිර්මාණය වන මෙවැනි “Deepfakes” ලෝක සාමයට මෙන්ම සත්‍ය තොරතුරු ගලායාමට දැඩි තර්ජනයක් එල්ල කරන බව විචාරකයෝ පෙන්වා දෙති.












