ඉරානයේ පවතින නායකත්වය සහ ආරක්ෂක බලඇණි විනාශ වී ඇති බව පවසමින්, ඔවුන් සාකච්ඡා සඳහා කළ ඉල්ලීම් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඉරානය සමඟ සාකච්ඡා කිරීමට දැන් “ප්‍රමාද වැඩි” බව සිය ටෘත් සෝෂල් (Truth Social) ගිණුම හරහා ප්‍රකාශ කළ ට්‍රම්ප්, එරට ගුවන් ආරක්ෂණ, නාවික සහ ගුවන් හමුදා සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වී ඇති බවට ද එහිදී සඳහන් කළේය.
මෙම උණුසුම් තත්ත්වය මැද ඉරාන ඩ්‍රෝන යානා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ප්‍රධානතම තෙල් පිරිපහදුවක් වන ෆුජයිරා (Fujairah) තෙල් කලාපයට ප්‍රහාර එල්ල කර ඇති අතර, එහි ඇති වූ ගින්න මේ වන විට පාලනය කර ඇති බව වාර්තා වේ. මීට අමතරව කටාර්හි පිහිටි විශාලතම ඇමරිකානු ගුවන් කඳවුර වන අල්-උඩෙයිඩ් (Al-Udeid) ඉලක්ක කරමින් ද ප්‍රහාර එල්ල වී ඇති අතර, සවුදි අරාබියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ද ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ. මේ අතර ඊශ්‍රායලය සිය හමුදාවන් ලෙබනනයට ඇතුළු කරමින් හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය තවදුරටත් තීව්‍ර කර ඇති අතර, ප්‍රංශය ද සිය ගුවන් යානා UAE ගුවන් සීමාවට යොමු කරමින් සිය හමුදා කඳවුරු ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන ඇත.














