පර්සියානු ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයක් ඉලක්ක කරමින් අද (09) උදෑසන ඉරානය විසින් එල්ල කරන ලද දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාව හේතුවෙන් කලාපීය යුදමය තත්ත්වය උපරිම මට්ටමකට වර්ධනය වී තිබේ. බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේටය මෙම ප්‍රහාරවලින් ප්‍රධාන වශයෙන් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බහරේනයේ සිට්‍රා (Sitra) ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරවලින් මාස 2ක බිළිඳකු ඇතුළු 32 දෙනෙකු තුවාල ලබා ඇති අතර, අබුඩාබි අගනුවර අද උදෑසන ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයකින් කම්පනය විය. යුද්ධය ආරම්භ වූ දා සිට ඇසුණු ප්‍රබලම ශබ්ද මේවා බව වාර්තා වන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති (Air Defense Systems) මිසයිල තර්ජන මැඩලීමට වහා ක්‍රියාත්මක වී ඇත. මේ අතර, කුවේට් ආරක්ෂක අංශ ද සිය ගුවන් සීමාවට ඇතුළු වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළීමට සමත් වී තිබේ.













