පවතින ඇමෙරිකා – ඉරාන යුදමය වාතාවරණය හමුවේ, තම රටේ ලෝක කුසලාන පාපන්දු තරග ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බැහැර කර මෙක්සිකෝව වෙත ලබා දෙන්නේ නම් පමණක් ඉරානය මෙවර ලෝක කුසලානයට සහභාගී වන බව එම රටේ ක්‍රීඩා අමාත්‍ය අහමඩ් දොන්යමාලි මහතා පවසයි. ආරක්ෂක ගැටලු හේතුවෙන් තම කණ්ඩායමේ තරග මෙක්සිකෝවට මාරු කරන ලෙස ඉරාන පාපන්දු සම්මේලනය (IFF) ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඉල්ලීමක් කර ඇති අතර, ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ. පෙබරවාරි 28 වනදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ආරම්භ වූ කලාපීය ගැටුම් මෙයට ප්‍රධානතම හේතුව වී තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඉරාන කණ්ඩායමට ඇමෙරිකාවට පැමිණිය හැකි වුවත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ ජීවිත පිළිබඳ සහතිකයක් දිය නොහැකි බවයි. මීට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාපන්දු ප්‍රධානී මෙහ්දි තාජ් අවධාරණය කළේ කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව පවසන්නේ නම් තම කණ්ඩායම කිසිසේත් ඇමෙරිකාවට නොයන බවයි. කෙසේ වෙතත්, FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ප්‍රකාශ කර ඇත්තේ තරග කාලසටහනේ කිසිදු වෙනසක් සිදු නොකරන බවත්, නියමිත ස්ථානවලම තරග පැවැත්වෙන බවත්ය.
ආසියාවෙන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම වන ඉරානය, සිය මූලික වටයේ තරග සියල්ලම ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. ඒ අනුව ජූනි 16 වනදා නවසීලන්තයට එරෙහිව සහ ජූනි 22 වනදා බෙල්ජියමට එරෙහිව ලොස් ඇන්ජලීස්හිදී ද, ජූනි 26 වනදා අවසන් කණ්ඩායම් තරගය සීට්ල්හිදී ද පැවැත්වීමට නියමිතය. ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ තම ක්‍රීඩකයින් පුහුණුවීම් අඛණ්ඩව සිදු කරන නමුත්, ඇමෙරිකාවට යාම පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ නිසි ආරක්ෂක සහතික ලැබීමෙන් පසුව පමණක් බවයි.














