ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) මහතා ප්‍රකාශ කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සියලු රටවල් සඳහා විවෘතව පවතින බවයි. කෙසේ වෙතත්, එය ඇමරිකානු සහ ඊශ්‍රායල නෞකා සඳහා පමණක් තහනම් කර ඇති බව ඔහු අවධාරණය කළේය. “හෝමූස් සමුද්‍ර සන්ධිය ඇත්ත වශයෙන්ම විවෘතයි. එය වසා ඇත්තේ අපට පහර දෙන සතුරන්ගේ නෞකාවලට පමණයි. අනෙක් අයට නිදහසේ ගමන් කළ හැකියි,” යනුවෙන් ඔහු විදේශ මාධ්‍ය වෙත පවසා තිබේ.
අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟම, CNN පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඉරානය විසින් තෙල් නැව් සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබා දීමට නව සැලසුමක් සකස් කරමින් සිටින බවයි. එම සැලසුමේ ප්‍රධානතම කොන්දේසිය වන්නේ අදාළ තෙල් ගනුදෙනු ඇමරිකානු ඩොලර් වෙනුවට චීන “යුවාන්” (Yuan) මුදලින් සිදු කළ යුතු වීමයි.
පසුගිය පෙබරවාරි 28 වනදා ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු ඇති වූ යුදමය වාතාවරණය හමුවේ ඉන්දියානු නෞකා ඇතුළු සිය ගණනක් යාත්‍රා මේ වන විට මෙම මුහුදු සීමාවේ අතරමංව පවතී. ගෝලීය තෙල් වෙළඳාම දශක ගණනාවක් පුරා ඩොලරය මත පදනම්ව පැවති අතර, ඉරානයේ මෙම නව කොන්දේසිය ඇමරිකානු ඩොලරයේ ගෝලීය ආධිපත්‍යයට එල්ල කරන ලද ප්‍රබල අභියෝගයක් ලෙස ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. ඉරානය විසින් මෙම තීරණය ක්‍රියාත්මක කළහොත් ලෝක තෙල් වෙළඳාම චීන මුදල් ඒකකය දෙසට නැඹුරු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.














