පසුගියදා අභාවප්‍රාප්ත වූ අලි කමේනිගේ පුත් මොජ්ටාබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වීමත් සමඟ, ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට ඇමරිකාව සහ ඊශ්‍රායලය දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කළේය. PBS News Hour පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ ඇමරිකාවට සහ ඊශ්‍රායලයට මෙම ගැටුම සම්බන්ධයෙන් නිශ්චිත අරමුණක් නොමැති බවත් ඔවුන් මේ වන විට හුදෙක් අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කරමින් සිටින බවත්ය.
දින දෙක තුනකින් පාලන තන්ත්‍රය වෙනස් කර ඉක්මන් ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔවුන් උත්සාහ කළද, යුද්ධය ආරම්භ වී දින 10ක් ගතවන විටත් ඔවුන් සිය අරමුණු ඉටුකර ගැනීමට අපොහොසත් වී අරමුණක් නොමැතිව කටයුතු කරන බව අරග්චි මහතා පෙන්වා දුන්නේය. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ තෙල් සැපයුමට බාධා එල්ල වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එයට ඉරානය වගකිව යුතු නැති බවයි.
තෙල් නිෂ්පාදනය සහ ප්‍රවාහනය අඩාල වී ඇත්තේ ඊශ්‍රායලය සහ ඇමරිකාව ඉරානයට එරෙහිව සිදුකරන ආක්‍රමණ නිසා බවත්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට නැව් බිය වන්නේ කලාපය තුළ පවතින අනාරක්ෂිතභාවය නිසා බවත් ඔහු පැවසීය. “අපි හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමා නැහැ. නමුත් ඇමරිකානු සහ ඊශ්‍රායල ආක්‍රමණය මුළු කලාපයම අස්ථාවර කර තිබෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අසල්වැසි රටවල තෙල් පහසුකම් ඉලක්ක කර ඉරානය ප්‍රහාර එල්ල කිරීම සහ ඉන්ධන මිල ඩොලර් 200 ඉක්මවා යා හැකි බවට විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) කළ අනතුරු ඇඟවීම් පිළිබඳව මෙහිදී ප්‍රශ්න කෙරිණි. එයට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ඉරානය සිදුකරන සෑම දෙයක්ම ස්වයං ආරක්ෂාව සඳහා සිදුකරන නීත්‍යානුකූල පියවර බවයි. ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කරන්නේ නම්, තමන්ට ඇමරිකානු භූමියට ළඟා විය නොහැකි බැවින් කලාපයේ පවතින ඇමරිකානු හමුදා කඳවුරු සහ දේපළවලට ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධය මුළු කලාපය පුරාම පැතිර යන බවත් ඔහු අනතුරු ඇඟවීය.














