ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට එරෙහිව දරන ස්ථාවරයෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවනු ඇතැයි එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araqchi) අද (18) ප්‍රකාශ කළේය. අල් ජසීරා පුවත් සේවය සමඟ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉරානයේ නව උත්තරීතර නායකයා මේ පිළිබඳව මෙතෙක් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති වුවද, සමූලඝාතක අවි නිපදවීමට එරෙහි ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති බවයි.
ඇමරිකා-ඉරාන යුද ගැටුම් අතරතුර මියගිය හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) විසින් 2000 වසරේ මුල් භාගයේදී නිකුත් කරන ලද ආගමික නියෝගයක් (Fatwa) මඟින් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය තහනම් කර තිබුණි. බටහිර රටවල් සහ ඊශ්‍රායලය වසර ගණනාවක සිට ඉරානය රහසිගතව න්‍යෂ්ටික අවි නිපදවන බවට චෝදනා කළද, ඉරාන බලධාරීන් දිගින් දිගටම අවධාරණය කරන්නේ තමන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ හුදෙක් සිවිල් අවශ්‍යතා සඳහා පමණක් වෙන් වූවක් බවයි.
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei) ගේ දේශපාලනික හෝ ආගමික මතවාදයන් පිළිබඳව මෙතෙක් නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි බව අමාත්‍ය අරග්චි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මැදපෙරදිග කලාපය තුළ පවතින දැඩි යුදමය නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ඉරානයේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක්ව තිබේ.














