ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) මහතා සෞදි අරාබිය වෙත විශේෂ “සහෝදරත්වයේ පණිවිඩයක්” නිකුත් කරමින්, මැදපෙරදිග කලාපයෙන් ඇමෙරිකානු හමුදා වහාම පිටුවහල් කළ යුතු බවට ප්‍රබල ප්‍රකාශයක් සිදු කර තිබේ. ඉරානය විසින් දියත් කරන හමුදා මෙහෙයුම් කිසිසේත්ම අරාබි ජාතිකයින් ඉලක්ක කරගත් ඒවා නොවන බවත්, ඒවායේ සැබෑ ඉලක්කය අරාබි හෝ ඉරාන වැසියන්ට ගරු නොකරන “පිටස්තර ආක්‍රමණිකයන්” බවත් ඔහු අවධාරණය කළේය. ඇමෙරිකානු ගුවන් විධාන මධ්‍යස්ථාන වෙත ඉරානය එල්ල කළ ප්‍රහාරවල සාර්ථකත්වය පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ, කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට නම් ඇමෙරිකානු බලපෑමෙන් මිදිය යුතු බවයි.
මෙම හදිසි ප්‍රකාශය හරහා ඉරානය උත්සාහ කරන්නේ වත්මන් යුද වාතාවරණය හමුවේ ගල්ෆ් කලාපයේ රටවල් තමන්ට එරෙහි වීම වැළැක්වීමට සහ පොදු සතුරා ලෙස ඇමෙරිකාව හුවා දැක්වීමටයි. “අපේ මෙහෙයුම් ඉලක්ක කරන්නේ සැබෑ සතුරන් පමණයි” යනුවෙන් පවසමින් සෞදිය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳ වැටීම වැළැක්වීමට ඉරානය දරන මෙම උත්සාහය ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව තිබේ. ඇමෙරිකාව සහ ඉරානය අතර ගැටුම උග්‍ර වන මොහොතක, ගල්ෆ් කලාපයේ රටවල් කාගේ පාර්ශවය ගනු ඇත්ද යන්න පිළිබඳව ලෝක අවධානය යොමුව ඇත.














