ඉන්දීය LPG නෞකා දෙකකට
ඉරානයෙන් විශේෂ අවසරයක්
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පනවා ඇති දැඩි ගමනාගමන අවහිරතාව මධ්‍යයේ ඉන්දියාව බලා යාත්‍රා කරන ද්‍රව පෙට්‍රෝලියම් වායු (LPG) නෞකා දෙකකට එම මාර්ගය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට ඉරාන රජයෙන් විශේෂ අවසරයක් හිමි වී තිබේ. ඉන්දීය වරාය, නාවික සහ ජල මාර්ග අමාත්‍යාංශයේ විශේෂ ලේකම් රාජේෂ් කුමාර් සිංහ මහතා තහවුරු කළේ අදාළ නෞකා දෙක ඊයේ (14) උදෑසන එම තීරණාත්මක මුහුදු තීරය සාර්ථකව පසුකර මේ වන විට ඉන්දියාව බලා ගමන් කරමින් පවතින බවයි.
ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු ගෝලීය තෙල් සැපයුමෙන් පහෙන් එකක් ගමන් ගන්නා මෙම සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීමට පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත් ඉන්දියාව සහ ඉරානය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සැලකිල්ලට ගනිමින් මෙලෙස ඉන්දීය නෞකාවලට විශේෂ ප්‍රමුඛතාවක් ලබා දුන් බව ඉන්දියාවේ ඉරාන තානාපති මොහොමඩ් ෆතාලි මහතා ප්‍රකාශ කළේය. මෙම පියවර හරහා ඉන්දියාවේ බලශක්ති අවශ්‍යතාව සපුරාලීමට විශාල සහයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














