බටහිර ආසියානු කලාපයේ යුධමය තත්ත්වය උත්සන්න වෙමින් පවතින පසුබිමක, ලෝක තෙල් සැපයුමේ ප්‍රධාන මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන ඉන්දියානු නෞකා ගමනාගමනයට කිසිදු බාධාවක් සිදු නොවන බවට ඉරානය සහතික වී තිබේ. ගල්ෆ් කලාපයේ පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සිය නාවික ආරක්ෂාව පිළිබඳව පළ කළ සැකය දුරු කිරීම සඳහා ඉරානය මෙම පියවර ගෙන ඇත.
ඉන්දියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලය සිය නිල X ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ “අපගේ ඉන්දියානු මිතුරන් සුරක්ෂිත දෑතක සිටින බැවින් බිය විය යුතු නැත” යනුවෙනි. සෞදි අරාබියේ පිහිටි ඉරාන තානාපති කාර්යාලය ද මෙවැනිම ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියේ අනාගතය තීරණය කරනු ලබන්නේ ඉරානය සහ ඕමානය පමණක් බවත්, එහි ගමන් ගන්නා මිත්‍ර පාර්ශවයන්ට කිසිදු හානියක් සිදු නොවන බවත්ය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශවලින් පසුව කලාපීය ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව ඇති මොහොතක, ඉරානය මෙලෙස ඉන්දියාවට විශේෂ සහතිකයක් ලබා දීම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉතා වැදගත් වේ. ඉන්දියාවට අවශ්‍ය බොරතෙල් සැපයුමෙන් වැඩි ප්‍රමාණයක් මෙම මුහුදු මාර්ගය ඔස්සේ පැමිණෙන බැවින්, මෙම සහතිකය ඉන්දියානු ආර්ථිකයේ ස්ථාවරත්වය කෙරෙහි ද ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














