අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට ඉරානයට ඇති අයිතිය පිළිගන්නා අතරම, අසල්වැසි රටවල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙස පලස්තීන හමාස් සංවිධානය ඉරානයෙන් ඉල්ලා සිටියි. ඉරාන හිතවාදී සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සංවිධානය, ඉරානයේ විදේශ ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ මෙවැනි අදහසක් පළ කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
යුද්ධය ආරම්භයේ සිට ඉරානය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කළද, කලාපීය සහෝදර රටවලට හානි නොවන අයුරින් කටයුතු කරන ලෙසත්, ජාත්‍යන්තර සංවිධාන මැදිහත් වී මෙම යුද්ධය වහාම නතර කිරීමට පියවර ගත යුතු බවත් හමාස් සංවිධානය අවධාරණය කරයි. ඉරානය විසින් සිය මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේදී කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලට පවා බලපෑම් එල්ල වී ඇති පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වී තිබේ.
මීට සමගාමීව, ලෙබනනයේ හෙස්බොල්ලා සංවිධානය මාර්තු 02 වැනිදා සිට ඊශ්‍රායලයට එරෙහිව සිය මෙහෙයුම් දැඩි කර ඇති අතර, යේමනයේ හවුති සටන්කාමීන් ද ඉරානයට සිය සහය පළ කර ඇත. ගාසා තීරයේ ඔක්තෝබර් මාසයේ සිට සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, ඉරානය සමඟ පවතින යුද්ධය උත්සන්න වීමත් සමඟ ඊශ්‍රායලය නැවතත් ගාසා වෙත එල්ල කරන ප්‍රහාර ඉහළ නංවා ඇති බව වාර්තා වේ.














