ඉරාන ප්‍රහාරයකින් විනාශ වූ ඇමෙරිකානු F-15E Strike Eagle ප්‍රහාරක යානයේ අතුරුදන් වූ දෙවන කාර්ය මණ්ඩල සාමාජිකයා (Weapons Systems Officer) පණපිටින් අල්ලා ගැනීම සඳහා ඉරානය මේ වන විට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ. චැතැම් හවුස් (Chatham House) ආයතනයේ ඇමෙරිකානු වැඩසටහන් අධ්‍යක්ෂිකා ලෝරල් රැප් (Laurel Rapp) පෙන්වා දෙන්නේ, මෙම සෙබළා අත්අඩංගුවට ගැනීමට ඉරානය සමත් වුවහොත් එය ඔවුන්ට යුද්ධයේදී ලැබෙන “බලවත්ම තුරුම්පුව” (Bargaining Chip) වනු ඇති බවයි. විශේෂයෙන්ම දැනටමත් ඇමෙරිකානු ජනතාව අතර ජනප්‍රිය නොවන මෙම යුද්ධය හමුවේ, අත්අඩංගුවට ගත් නියමුවාගේ දර්ශන ප්‍රසිද්ධ කිරීම මගින් ඇමෙරිකානු රජයට දැඩි දේශපාලන පීඩනයක් එල්ල කිරීමට ඉරානයට හැකි වනු ඇතැයි ඇය අනතුරු අඟවයි.
මෙම අතුරුදන් වූ සෙබළා පණපිටින් අල්ලා දෙන අයෙකුට බ්‍රිතාන්‍ය පවුම් 50,000කට (ඇමෙරිකානු ඩොලර් 66,000ක් පමණ) අධික ත්‍යාග මුදලක් ලබා දෙන බවට ඉරාන බලධාරීන් සහ දේශීය ව්‍යාපාරිකයින් පොරොන්දු වී ඇත. මේ හේතුවෙන් ඉරානයේ ඛුසෙස්තාන් (Khuzestan) සහ කොහ්ගිලුයේ (Kohgiluyeh) යන කඳුකර ප්‍රදේශවල සන්නද්ධ සිවිල් වැසියන් පවා මෙම සෙබළා සෙවීමේ මෙහෙයුම්වලට එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරට පත් වූ යානයේ සිටි ප්‍රධාන නියමුවා (Pilot) ඇමෙරිකානු විශේෂ බලකායන් විසින් සාර්ථකව මුදාගෙන ඇති අතර, දැනට අතුරුදන්ව සිටින දෙවන සෙබළා සොයා ඇමෙරිකානු හෙලිකොප්ටර් යානා ඉරාන ගුවන් සීමාව තුළ අතිශය අවදානම් සහගත සෝදිසි මෙහෙයුම්වල නිරත වෙමින් පවතී.
ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් (Mohammad Bagher Ghalibaf) මෙම සිදුවීම උපහාසයට ලක් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට (Regime Change) පැමිණි ඇමෙරිකාවට දැන් සිදු වී ඇත්තේ “අනේ අපේ නියමුවා හොයලා දෙන්න” යැයි ඉල්ලීමට බවයි. මෙම සෙබළා අත්අඩංගුවට පත්වුවහොත් ඔහු ප්‍රාණ ඇපකරුවෙකු ලෙස යොදා ගනිමින් යුද්ධය සමනය කිරීම සඳහා ඇමෙරිකාවට කොන්දේසි පැනවීමට ඉරානය උත්සාහ කරනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ සැක පළ කරති. මෙය වසර පහක් පුරා පවතින ඉරාන-ඇමෙරිකානු ගැටුමේ ඇමෙරිකානු හමුදාව මුහුණ දෙන අතිශය තීරණාත්මක සහ සංවේදී මොහොතක් ලෙස සැලකේ.














