ඉරානය පුරා පනවා ඇති අන්තර්ජාල විසන්ධිය අද (05) වන විට පැය 120ක් හෙවත් දින පහක් ඉක්මවා ගොස් ඇති බව අන්තර්ජාල නිරීක්ෂණ කණ්ඩායමක් වන NetBlocks ආයතනය තහවුරු කරයි. පවතින යුදමය වාතාවරණය සහ අභ්‍යන්තර නොසන්සුන්තා හමුවේ ඉරාන රජය විසින් මෙම පියවර ගෙන ඇති අතර, මේ වන විට එරට සමස්ත අන්තර්ජාල සබඳතාව සාමාන්‍ය මට්ටමට වඩා 1%ක් වැනි අතිශය අවම අගයක් දක්වා පහත වැටී ඇති බව ‘Iran International’ පුවත් සේවය වාර්තා කරයි. මෙම දැවැන්ත සබඳතා බිඳ වැටීම හේතුවෙන් එරට තොරතුරු ගලායාම සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට ඇති අතර, ඉරානය තුළ සිදුවන සැබෑ තත්ත්වය ලෝකයාගෙන් වසන් වී ඇති බවට විචාරකයෝ පවසති.














