ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) විසින් ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල්-සුඩානි (Al-Sudani) සහ කුර්දිස්ථාන දේශප්‍රේමී සංගමයේ (PUK) නායක බෆෙල් තලබානි (Bafel Talabani) වෙත අද (මාර්තු 05) උදෑසන හදිසි දුරකථන ඇමතුම් ලබා දී ඇති බව වාර්තා වේ. මෙම ඇමතුම් ලබා දී ඇත්තේ ඉරාකයේ සිටින ඉරාන විරුද්ධවාදී කුර්දි සටන්කාමීන් (Peshmerga) ඉරාන දේශසීමා ආසන්නයේ සිය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරු හමුවේය. මෙහිදී ඉරාක අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ ඉරාක භූමිය ඉරානයට එරෙහි ප්‍රහාරක මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.
කෙසේ වෙතත්, වොෂින්ටනයේ සෘජු මැදිහත්වීම හමුවේ ඉරාකයේ මෙම පොරොන්දුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම දුෂ්කර වනු ඇති බවට දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය ඉරිදා (මාර්තු 02) මසූඩ් බර්සානි සහ බෆෙල් තලබානි යන කුර්දි නායකයින් සමඟ පෞද්ගලිකව සාකච්ඡා කර ඇති අතර, සී.අයි.ඒ. (CIA) සංවිධානය දැනටමත් දේශසීමා ආසන්නයේ සිටින කුර්දි සටන්කාමීන් සන්නද්ධ කිරීමට පටන් ගෙන ඇති බව CNN සහ The Jerusalem Post පුවත් සේවා වාර්තා කරයි. ඉරාන පාලනයට එරෙහිව බටහිර ඉරානයේ සිවිල් නැගිටීමක් ඇති කිරීම සඳහා කුර්දි සටන්කාමීන් දහස් ගණනක් සිය සටන්කාමී ස්ථාන (Combat Positions) වෙත ළඟා වී ඇති බව ද එම වාර්තාවල සඳහන් වේ.














