හෝමූස් සමුද්‍ර සන්ධිය වෙත යුද නෞකා ළඟා වීම දැනට පවතින සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) අනතුරු අඟවා තිබේ. එවැනි උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම බළකාය අවධාරණය කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඇමෙරිකානු නාවික හමුදාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශයකින් අනතුරුව ඉරානය මෙම නිවේදනය නිකුත් කර ඇත. කෙසේ වෙතත්, මෙම සීමාවන් බලපාන්නේ යුද නෞකාවලට පමණක් බවත් සාමාන්‍ය වෙළඳ නෞකාවල ගමනාගමනයට මෙයින් බාධාවක් නොවන බවත් ඉරාන ආරක්ෂක බළකාය වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ ඉරානයේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත.














