ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්‍ර වෙමින් පවතින පසුබිමක, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී අද (11) පෙරවරුවේ නෞකා තුනකට ප්‍රහාර එල්ල වී තිබේ. බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය (UKMTO) තහවුරු කරන පරිදි එක් නෞකාවක ගින්නක් හටගෙන ඇති අතර එහි කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මීට අමතරව ඩුබායි වෙරළට ඔබ්බෙන් වූ තවත් නෞකාවකට ප්‍රහාර එල්ල වී ඇති අතර, ඩුබායි ගුවන් තොටුපළ අසලට ඩ්‍රෝන යානා කඩා වැටීමෙන් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
ඉරානය විසින් ගූගල්, ඇමසන් සහ මයික්‍රොසොෆ්ට් වැනි ප්‍රධාන ඇමෙරිකානු තාක්ෂණික සමාගම්වල කලාපීය මධ්‍යස්ථාන ද තම ඉලක්ක ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවට අනතුරු අඟවා ඇත. හෝර්මුස් සමුද්‍ර සන්ධිය තුළ ඉරානය විසින් බෝම්බ ඇටවීම (Sea mines) ආරම්භ කර ඇති බවට ලැබෙන වාර්තා හේතුවෙන් ලෝක ආර්ථිකයට මෙන්ම ඉන්ධන සැපයුමට දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් මතුව ඇත. මේ හේතුවෙන් වියට්නාමය වැනි ආසියානු රටවල දැනටමත් ඉන්ධන පෝලිම් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














