ඉරාන උත්තරීතර නායකයාගේ අභාවයෙන් පසු එරට හමුදා නායකත්වයට එල්ල වූ දරුණුතම පහර සනිටුහන් කරමින්, ඉරාන ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අබ්දුල්රහීම් මූසාවි (Abdolrahim Mousavi) ඝාතනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටෙහෙරාන් නුවර පිහිටි ආරක්ෂිත බංකරයක් ඉලක්ක කරගනිමින් ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් හමුදා ඒකාබද්ධව එල්ල කළ බංකර් විදින (Bunker Buster) මිසයිල ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වේ. මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිරිසක් සමඟ ඉදිරි ප්‍රතිප්‍රහාර සැලසුම් කරමින් සිටි බව ද පැවසේ.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ද මෙම පුවත තහවුරු කර ඇති අතර, මූසාවිගේ අභාවය ඉරාන ආරක්ෂක පද්ධතියට පිරවිය නොහැකි පාඩුවක් බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. මේජර් ජෙනරාල් මූසාවි යනු ඉරාන නිත්‍ය හමුදාව සහ විප්ලවීය ආරක්ෂක බලකාය අතර සම්බන්ධීකරණය මෙහෙයවූ ප්‍රධානතම නිලධාරියායි. ඔහුගේ ඝාතනයත් සමඟ ඉරාන හමුදා මෙහෙයුම්වල දැඩි පසුබෑමක් ඇති විය හැකි බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා මෙම මෙහෙයුම “පරිපූර්ණ සාර්ථකත්වයක්” ලෙස හඳුන්වමින් සිය හමුදාවට සුබ පැතුම් එක් කර ඇත.














