එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමඟ පවතින යුද්ධයේදී ඉරානය මෙතෙක් ලොවට හෙළි නොකළ සහ මීට පෙර කිසිදු අවස්ථාවක භාවිත නොකළ නවීන අවිආයුධ භාවිත කිරීමට පටන් ගෙන ඇති බව ඉරාන හමුදා ප්‍රකාශක අමීර් අක්‍රමිනියා (Amir Akraminia) බදාදා ප්‍රකාශ කළේය. ඉදිරි දිනවලදී මෙම නවීන අවිආයුධවල තිව්‍රතාවය තවදුරටත් වැඩි කරන බවත්, ඒවායේ විනාශකාරී බලපෑම පිළිබඳ පුවත් ඉතා ඉක්මනින් ලෝකයටම දැකගත හැකි වනු ඇති බවත් ඔහු ඉරාන රූපවාහිනිය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අවධාරණය කළේය.
විශේෂයෙන්ම ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කරන ප්‍රහාරවලදී මෑතක සිට අතිශය ප්‍රබල ශබ්දයන් වාර්තා වී ඇති අතර, එය මෙම නවීන අවි භාවිතයේ ලක්ෂණයක් බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මීට අමතරව, ඉරානය සිය බැලස්ටික් මිසයිල සඳහා පොකුරු යුධ හිස් (Cluster Warheads) වැඩි වශයෙන් භාවිත කිරීමට පෙළඹී ඇති බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර තිබේ. පසුගිය ජූනි මාසයේ පැවති දින 12ක යුද්ධයේදී මෙම තාක්ෂණය අත්හදා බැලුවද, වර්තමානය වන විට එය ඉතා ඉහළ සංඛ්‍යාතයකින් භාවිත වන බව වාර්තා වේ.
ඉරාන හමුදා ප්‍රකාශකයාගේ මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය නව මානයකට ගොස් ඇති අතර, ඉරානයේ මෙම “අබිරහස් අවි” (Mystery Weapons) මොනවාද යන්න පිළිබඳව බටහිර බුද්ධි අංශවල දැඩි අවධානය යොමු වී ඇත. විශේෂයෙන්ම හයිපර්සොනික් මිසයිල (Hypersonic Missiles) හෝ නවීනතම ඩ්‍රෝන තාක්ෂණයන් මෙලෙස භාවිත වීමේ අවදානමක් පවතින බව ආරක්ෂක අංශ සැක පළ කරයි.














