ඉරානයේ මිනාබ් නගරයේ පිහිටි ප්‍රාථමික දැරියන්ගේ පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ළමුන් ඇතුළු පුද්ගලයින් 165 දෙනෙකු මියගොස් ඇති අතර, එම ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් සහ සී.බී.සී පුවත් සේවා තීරණාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබේ. පෙබරවාරි 28 වැනිදා එල්ල වූ මෙම ප්‍රහාරය ඉරාන ගැටුම ආරම්භ වූ දින සිට සිවිල් වැසියන් වැඩිම පිරිසක් මියගිය අවස්ථාව ලෙස වාර්තා වන නමුත් කිසිදු පාර්ශවයක් මෙතෙක් එහි වගකීම භාරගෙන නොමැත.
නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවට අනුව, පාසලට යාබදව පිහිටි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික කඳවුරකට එල්ල වූ නිරවද්‍ය ප්‍රහාරයක් අතරතුර මෙම පාසල ද විනාශ වී ඇති අතර, හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ඉලක්ක වෙත ඇමරිකානු ප්‍රහාර එල්ල වූ අවස්ථාවේම මෙය සිදු වීම නිසා බොහෝ දුරට ඇමරිකානු හමුදා මෙයට වගකිව යුතු බවට සැක කෙරේ. සී.බී.සී පුවත් සේවය පවසන්නේ මෙය හුදෙක් වැරදීමකින් සිදු වූවක් නොව, නිරවද්‍ය ඉලක්ක ලබා ගන්නා අවි පද්ධති මගින් එල්ල කරන ලද ප්‍රහාරයක් බවයි. කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනය සහ ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයින් පවසන්නේ එවැනි ප්‍රහාරයක් පිළිබඳව තමන්ට දැනුමක් නොමැති බවයි.













