ඉරානය විසින් මධ්‍යම ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් අද (18) උදෑසන තවත් දරුණු මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. මෙම ප්‍රහාරවලින් රාමත් ගාන් (Ramat Gan) ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ.
ඉරානය එල්ල කළ මිසයිල මධ්‍යම ඊශ්‍රායලයේ ජනාකීර්ණ ප්‍රදේශ කිහිපයකට පතිත වී ඇති අතර, ඉන් විශාල දේපළ හානි සිදුව ඇති බව වාර්තා වේ. ප්‍රහාරයත් සමඟ ප්‍රදේශය පුරා දැවැන්ත ගිනි ගැනීම් සහ ගොඩනැගිලි කඩා වැටීම් වාර්තා වී ඇත.
රාමත් ගාන් නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, සහන සේවා කණ්ඩායම් මේ වන විටත් මෙහෙයුම්වල නිරතව සිටිති.
ඊශ්‍රායලයේ ‘අයර්න් ඩෝම්’ (Iron Dome) ආරක්ෂක පද්ධතිය මඟින් මිසයිල කිහිපයක් විනාශ කළ ද, ඇතැම් මිසයිල ආරක්ෂක වළලු බිඳ දමමින් ඉලක්ක වෙත පතිත වී තිබේ.
අද උදෑසන වාර්තා වූ ටෙල් අවිව් ප්‍රහාරයෙන් අනතුරුව මෙම දෙවන ප්‍රහාර මාලාව එල්ල වී ඇති අතර, මෙය ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලාරිජානි ඝාතනයට ප්‍රතිචාරයක් ලෙස එල්ල වූවක් බවට විදේශ විචාරකයෝ සැක පළ කරති.
පවතින යුදමය අවදානම හේතුවෙන් මධ්‍යම ඊශ්‍රායලයේ පාසල් සහ රජයේ ආයතන වසා දමා ඇති අතර, ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ දැනුම් දී තිබේ.














