කලාපය පුරා විසිරී සිටින ඇමෙරිකානු සෙබළුන් නවාතැන් ගන්නා හෝටල්, ඇමෙරිකාව සහ ඉශ්‍රායලය සමඟ පවතින යුද්ධයේදී තමන්ගේ ඉලක්ක බවට පත්වන බව ඉරාන හමුදාව ප්‍රකාශ කර තිබේ. ඉරාන සන්නද්ධ හමුදා ප්‍රකාශක අබොල්ෆස්ල් ෂෙකර්චි (Abolfazl Shekarchi) රජයේ රූපවාහිනිය හරහා අවධාරණය කළේ, ඇමෙරිකානු හමුදා කිසියම් හෝටලයක රැඳී සිටින්නේ නම් එම හෝටලය “ඇමෙරිකානු දේපළක්” ලෙස සලකා ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බවයි.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඉශ්‍රායලය එක්ව එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) ඝාතනය වීමත් සමඟ මැදපෙරදිග කලාපය පුරා මෙම දරුණු යුද වාතාවරණය ව්‍යාප්ත විය. එතැන් සිට ඉරානය විසින් ඉශ්‍රායලයට සහ කලාපයේ පවතින ඇමෙරිකානු මධ්‍යස්ථාන වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිචාර දක්වමින් සිටී.
මීට අමතරව, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) රටවල සිටින සාමාන්‍ය ජනතාව ඇමෙරිකානු සෙබළුන් විසින් “මිනිස් පලිහක්” (Human shields) ලෙස භාවිත කරන බවට ද ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) චෝදනා කර තිබේ. අද (මාර්තු 27) දිනයේදී ද ඉශ්‍රායලයේ වෙරළබඩ නගරයක් වන නෙතන්යා (Netanya) ඉලක්ක කරගනිමින් ඉරානය විසින් නව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව වාර්තා වේ.














