එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සහ කුවේට්හි පිහිටි හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරාන රජයේ නිල පුවත් විකාශකයා වන IRIB වාර්තා කර තිබේ. ඉරානය පවසන පරිදි මෙම ප්‍රහාරයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල්-මින්හාඩ් (Al-Minhad) කඳවුරට සහ කුවේට්හි අලි අල් සලෙම් (Ali Al Salem) ගුවන් හමුදා කඳවුරට එල්ල වී ඇත.
මෙම ප්‍රහාරවලින් අදාළ කඳවුරුවල තිබූ ගුවන් යානා අංගන (Hangars) සහ ඉන්ධන ටැංකි විනාශ වූ බවත්, ඒවා “ඇමරිකානු-සයොනිස්ට්” ගුවන් යානා සඳහා භාවිත කළ ඒවා බවත් ඉරානය සඳහන් කරයි. තම භූමියට එල්ල කරන ප්‍රහාර සඳහා මෙම කඳවුරු භාවිතා කිරීම නිසා මෙලෙස ප්‍රතිප්‍රහාර එල්ල කළ බව ඔවුන්ගේ ස්ථාවරයයි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හෝ කුවේට් රජය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර ස්වාධීන මූලාශ්‍ර මගින් ද මෙය තහවුරු කර නොමැත.














