නේටෝ සාමාජික තුර්කියේ පිහිටි, ඇමරිකානු සහ නේටෝ හමුදා රඳවා සිටින ඉන්ජිර්ලික් (Incirlik) ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිලයක් නැගෙනහිර මධ්‍යධරණී මුහුදට ඉහළින්දී සාර්ථකව බිම හෙළීමට ඇමරිකානු නාවික හමුදාව සමත් වූ බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය අද (මාර්තු 05) තහවුරු කළේය. ඉරාක සහ සිරියානු ගුවන් සීමාවන් හරහා පැමිණි මෙම මිසයිලය, තුර්කි ගුවන් සීමාවට ඇතුළු වීමට පෙර මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කර තිබූ ඇමරිකානු යුද නෞකාවකින් දියත් කළ SM-3 (Standard Missile-3) වර්ගයේ මිසයිල නාශකයක් මගින් අභ්‍යවකාශයට ආසන්න සීමාවේදීම විනාශ කර තිබේ. ප්‍රහාරයෙන් විනාශ වූ මිසයිලයේ සුන්බුන් කොටස් තුර්කියේ දකුණු දිග හාටේ (Hatay) පළාතේ ඩෝර්ට්යෝල් (Dörtyol) දිස්ත්‍රික්කයට පතිත වී ඇති අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.
මෙම සිදුවීම ඉරාන-ඇමරිකානු යුද්ධය ආරම්භ වූ දින සිට නේටෝ සාමාජික රටක භූමිය සෘජුව ඉලක්ක වූ ප්‍රථම අවස්ථාව ලෙස සැලකෙන අතර, එය නේටෝවේ 5 වන වගන්තිය (Article 5) ක්‍රියාත්මක වීමට පවා හේතු විය හැකි බරපතල තත්ත්වයකි. කෙසේ වෙතත්, ඇමරිකානු යුද ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම වහාම 5 වන වගන්තිය ක්‍රියාත්මක වීමට හේතුවක් නොවන බවයි. තුර්කි විදේශ අමාත්‍ය හාකාන් ෆිඩාන් විසින් සිය ඉරාන සගයා වන අබ්බාස් අරග්චි වෙත දුරකථනයෙන් අමතා මෙම “නොසොල්නා ක්‍රියාව” පිළිබඳව සිය දැඩි විරෝධය පළ කර ඇති අතර, කලාපය පුරා යුද්ධය ව්‍යාප්ත වන පියවරයන්ගෙන් වළකින ලෙසට ඉරානයට අනතුරු ඇඟවා තිබේ.














