සති කිහිපයක සිට ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ හමුදා බලය සහ අණදෙන ව්‍යුහය අඩපණ කර ඇති බව ප්‍රකාශ කළද, යථාර්ථය ඊට වඩා වෙනස් මුහුණුවරක් ගනිමින් පවතී. ඉරානය විසින් පසුගියදා ඉන්දීය සාගරයේ පිහිටි දියේගෝ ගාර්ෂියා (Diego Garcia) යුද කඳවුර ඉලක්ක කර කිලෝමීටර් 3,800ක් දුරට විදිය හැකි මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඔවුන්ගේ යුධ ශක්තිය පිළිබඳව බටහිර ලෝකය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් ප්‍රහාරවලින් මියගොස් ඇති බව කියවෙන පසුබිමක, ඔහුගේ පුත් මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) නව නායකයා ලෙස පත්ව ඇති බව වාර්තා වුවද ඔහු තවමත් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම පාලන තන්ත්‍රය පිළිබඳ අවිශ්චිතතාවක් මතු කරයි.
ඉරානය විසින් ඊශ්‍රායලයේ ඩිමෝනා (Dimona) ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම හරහා පෙන්වා දී ඇත්තේ තම බලශක්ති පද්ධතියට එල්ල වන ප්‍රහාරවලට සමාන ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානම් බවයි. මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කරන ලෙස ඉරානයට පැය 48ක අවසාන නිවේදනයක් නිකුත් කළද, පසුව තම ස්ථාවරය ලිහිල් කරමින් දින පහක ප්‍රහාර විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉරාන බලධාරීන් පවසන්නේ සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට උත්සාහ කළද, ඇමරිකාව දිගින් දිගටම හමුදා ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් තවදුරටත් සාකච්ඡා කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බවයි.














