ඇමරිකා – ඉරාන යුද්ධය අතිශය භයානක මාවතකට අවතීර්ණ වෙමින් ඉරානය විසින් කටාරයේ පිහිටි ලොව විශාලතම දියර ස්වභාවික වායු (LNG) මධ්‍යස්ථානය වන ‘රස් ලෆාන්’ ඉලක්ක කර අද අලුයම මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ. මෙම සිදුවීමත් සමඟ ගෝලීය බලශක්ති වෙළඳපොළ දැඩි කම්පනයකට ලක්ව ඇති අතර ඊයේ ඊශ්‍රායලය විසින් ඉරානයේ විශාලතම ස්වභාවික වායු නිධිය වන ‘සවුත් පාර්ස්’ සහ අසලූයේ පර්යන්තයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත. කටාරයේ පර්ල් GTL පර්යන්තයට සහ තවත් LNG මධ්‍යස්ථාන කිහිපයකට මෙමගින් දැඩි හානි සිදුව ඇති බව කටාර් එනර්ජි සමාගම තහවුරු කරන නමුත් ජීවිත හානි වාර්තා වී නොමැත. මෙම ප්‍රහාරයෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඇමරිකාවේ දැනුවත්භාවයකින් තොරව බවයි. ඉරානය යළිත් කටාරයට ප්‍රහාර එල්ල නොකරන්නේ නම් මින් ඉදිරියට ඉරානයේ ‘සවුත් පාර්ස්’ වායු නිධියට ප්‍රහාර එල්ල නොකරන ලෙස ට්‍රම්ප් ඊශ්‍රායලයට දන්වා ඇති අතර ඉරානය යළිත් කටාරය වැනි රටකට ප්‍රහාර එල්ල කළහොත් ඔවුන්ගේ සමස්ත වායු නිධි පද්ධතියම සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට දැඩි අනතුරු ඇඟවීමක් ද කර තිබේ.














