පසුගිය මාසය පුරා මැදපෙරදිග කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ ඉරාක අර්ධ හමුදා කණ්ඩායම් වෙත ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා ඛමේනි (Mojtaba Khamenei) සිය ස්තූතිය පිරිනමා තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) සම්බන්ධ තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය වාර්තා කර ඇත්තේ, කලාපීය ප්‍රතිරෝධය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම පණිවුඩය නිකුත් කර ඇති බවයි. කෙසේ වෙතත්, පසුගිය මාසයේ සිය පියා වූ අලි ඛමේනිගේ අභාවයෙන් පසු පදවියට පත් මොජ්තබා ඛමේනි යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම පණිවුඩයේ විශ්වසනීයත්වය පිළිබඳව විවිධ සැක සංකා මතු වී තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනාවරණය කරන ලද බුද්ධි තොරතුරුවලට අනුව, යුද්ධයේ මුල් දින කිහිපය තුළ එල්ල වූ ප්‍රහාරවලින් මොජ්තබා ඛමේනි බරපතල තුවාල ලබා ඇති බවට දැඩි විශ්වාසයක් පවතී. ජෙරුසලම් පෝස්ට් (The Jerusalem Post) පුවත්පත වාර්තා කරන පරිදි, වත්මන් ඉරානයේ සැබෑ පාලනය උත්තරීතර නායකයා සතු නොවී විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සතු වී ඇති බව පෙනී යයි. නායකයා ජීවතුන් අතර සිටියද, ඔහු ආරක්ෂක බලකායේ දැඩි පාලනය යටතේ පසුවන බව ද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මීට අමතරව, මොජ්තබා ඛමේනිගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ද ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ෆොක්ස් නිව්ස් (FOX News) නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, ඛමේනිගේ ලිංගික නැඹුරුව පිළිබඳව CIA බුද්ධි අංශ මඟින් යම් තොරතුරු අනාවරණය වී ඇති බවයි. එවැනි තත්ත්වයක් ඉරානය වැනි දැඩි මතධාරී ඉස්ලාමීය රටක නායකයෙකුට සිය පාලනය පවත්වාගෙන යාමට බරපතල බාධාවක් වනු ඇති බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය. පර්සියානු නව වසර වෙනුවෙන් ඔහු නිකුත් කළ පණිවුඩයේ “ජාතික එකමුතුව සහ ජාතික ආරක්ෂාව යටතේ ප්‍රතිරෝධී ආර්ථිකයක්” ගොඩනැඟීම සිය අරමුණ බව සඳහන් වුවද, ඉරාන නායකත්වයේ ස්ථාවරත්වය පිළිබඳව ලෝකයම මේ වන විට විමසිල්ලෙන් පසුවෙයි.














