ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ 2023 නොබෙල් සාම ත්‍යාගලාභී නර්ගීස් මොහොම්මදි (Narges Mohammadi) ඉරානයේ සන්ජාන් (Zanjan) බන්ධනාගාරයේ රඳවා සිටියදී හෘදයාබාධයකට ලක්ව ඇති බවත්, ඇයගේ ජීවිතය මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ඇයගේ පවුලේ සාමාජිකයෝ සහ සහයෝගිතා කණ්ඩායම් අනාවරණය කරති. පසුගිය මාර්තු 24 වනදා ඇය සිය සිර මැදිරිය තුළ සිහිසුන්ව සිටියදී හමු වී ඇති අතර, හෘදයාබාධයක ලක්ෂණ පෙන්නුම් කළද ඇයට නිසි රෝහල් ප්‍රතිකාර ලබා දීමට බලධාරීන් කටයුතු කර නොමැති බව වාර්තා වේ.
ඉරාන පාලනයට එරෙහිව අදහස් දැක්වීම හේතුවෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට ගත් ඇය, වසර හයක අතිරේක සිරදඬුවමකට ද යටත් කර තිබේ. මේ වන විට ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් සන්ජාන් නගරය අවට සිදුවන ප්‍රබල පිපිරීම් සහ යුදමය වාතාවරණය ඇයගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් පිරිහීමට සහ දැඩි මානසික පීඩනයකට හේතු වී ඇති බව ඇයගේ නීතිඥ කණ්ඩායම පෙන්වා දෙයි. ඇයව බැලීමට ගිය පවුලේ සාමාජිකයෙකු පවසා ඇත්තේ ඇය ඉතා දුර්වල මෙන්ම අධික ලෙස බර අඩු වී ඇති බවයි.
ඇයගේ සහෝදරයා වන හමිද්රේසා මොහොම්මදි බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, සිය සහෝදරියට හෘද සහ පෙනහළු ආශ්රිත රෝග ඉතිහාසයක් පවතින බැවින් ඇයව වහාම රෝහල්ගත කළ යුතු බවයි. ඉරානයේ තවත් ප්රමුඛ පෙළේ ක්‍රියාකාරිනියක වන නස්රින් සොටූඩේ (Nasrin Sotoudeh) ද ඉරාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන අතර, මැදපෙරදිග පවතින යුද්ධය හමුවේ ඉරානය තුළ සිටින දේශපාලන සිරකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සිය දැඩි අවධානය යොමු කර තිබේ.














