ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු එරට උපායමාර්ගික කටයුතු මෙහෙයවන ප්‍රධානියා වන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි (Ali Larijani) පවසන්නේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හමුවේ ඉරානය කිසිසේත්ම යටත් නොවන බවයි. සිය නායකයා ඇතුළු පිරිස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෘජුවම වගකිව යුතු බව ඔහු අවධාරණය කරයි.
අලි ලරිජානි මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස්වල සාරාංශය මෙසේය. පෙබරවාරි 28 වැනිදා දියත් කළ යුද මෙහෙයුමෙන් සිදුවූ නායක ඝාතන සහ ඉරාන වැසියන් සිය ගණනක් මියයාම සරල කාරණයක් ලෙස ඉරානය නොසලකන බව ඔහු පැවසීය. “ඇමෙරිකානුවන් දැනගත යුතුයි අපි ඔවුන්ට මේ දේවල් පහසුවෙන් අත්හැරීමට ඉඩ නොදෙන බව. ඔවුන් ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතුයි” යනුවෙන් ඔහු දැඩිව ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, මෙම තර්ජන බැහැර කර ඇති ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය මේ වන විටත් පරාජය වී ඇති බැවින් ඔවුන් කොන්දේසි විරහිතව යටත් විය යුතු බවයි. නමුත් ඉරාන ආරක්ෂක ප්‍රධානියා පවසන්නේ ඇමෙරිකානු ප්‍රහාර පවතින තාක් කල් තම රටේ ප්‍රතිප්‍රහාර අත් නොහරින බවයි. මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම තවදුරටත් ඉහළ ගොස් තිබේ.














