බටහිර ආසියාවේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න කරමින්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාපති අලිරේසා ටැංසිරි (Alireza Tangsiri) ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල මාධ්‍ය අද (2026 මාර්තු 26) වාර්තා කළේය. බණ්ඩර් අබ්බාස් (Bandar Abbas) ප්‍රදේශයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඔහු මියගිය බව ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ (Times of Israel) පුවත්පත උපුටා දක්වමින් වාර්තා කර ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමට සෘජුවම වගකිව යුතු ප්‍රධාන නිලධාරියා ලෙස ටැංසිරි සැලකෙන අතර, ඔහුගේ මරණය ඉරානයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉරාන රජය හෝ ඊශ්‍රායල හමුදාව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම යුද්ධයේදී ඇමරිකානු සහ ඊශ්‍රායල හවුල් ප්‍රහාර හමුවේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියයාමෙන් පසු, ඊශ්‍රායලය දිගින් දිගටම ඉරාන ඉහළ පෙළේ නායකයින් ඉලක්ක කරමින් සිටියි. පසුගිය දිනවලදී ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි (Ali Larijani) සහ බලශක්ති අමාත්‍ය එස්මයිල් ඛතීබ් (Esmail Khatib) ද මෙලෙස ඉලක්කගත ප්‍රහාරවලින් ඝාතනය වූ බව වාර්තා විය.













