ඉන්දීය සාගරයේදී අමෙරිකානු සබ්මැරීනයක් එල්ල කළ ටෝර්පිඩෝ ප්‍රහාරයකින් ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාව ගිලී යාමට ප්‍රතිචාර වශයෙන් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරන බවට ඉරාන නාවික හමුදාපති රියර් අද්මිරාල් ෂහ්රම් ඉරානි දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. ශ්‍රී ලංකාවේ ගාල්ල වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී සිදු වූ මෙම සිද්ධියෙන් ඉරාන නාවික භටයන් 87 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එය කිසිසේත් අමතක නොකරන “අපරාධයක්” බව හෙතෙම අවධාරණය කළේය. සතුරා “අඩුම තරමින් අපේක්ෂා කරන” වේලාවක සහ ස්ථානයකදී මෙයට ප්‍රතිප්‍රහාර දෙන බවට ඉරාන රජයේ මාධ්‍ය ඔස්සේ ඔහු ප්‍රතිඥා දී තිබේ.
මෙම ප්‍රහාරය පසුගිය මාර්තු 04 වනදා සිදුව ඇත්තේ ඉන්දියාව සමඟ පැවැති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් අනතුරුව ‘IRIS Dena’ නෞකාව යළි ඉරානය බලා ගමන් කරමින් සිටියදීය. ප්‍රහාරයෙන් පසුව නාවික භටයන් 32 දෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇති අතර තවත් කිහිප දෙනෙකු අතුරුදහන්ව ඇති බව වාර්තා වේ. මියගිය නාවික භටයන් වෙනුවෙන් වූ අවසන් ගෞරව දැක්වීමේ කටයුතු හෙට (බදාදා) දින ආරම්භ වීමට නියමිත අතර, අද දින විශේෂ අනුස්මරණ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබේ. මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග සහ ඉන්දීය සාගර කලාපයේ භූ-දේශපාලනික උණුසුම තවදුරටත් ඉහළ ගොස් ඇත.















