ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) විසින් සිය ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශකයා ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) හිටපු ප්‍රධානී මොහ්සන් රෙසායි (Mohsen Rezaei) පත් කර තිබේ. ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සියක් වන මෙහර් (Mehr) පුවත් සේවය අද (16) මෙම පත්වීම වාර්තා කළේය.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ටෙහෙරානයට එල්ල වූ අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් හිටපු උත්තරීතර නායක අලි කමේනි මියගිය අතර, ඔහුගේ පුත් මොජ්තාබා කමේනි බලයට පත්විය. නව නායකයා සිය පියාට වඩා දැඩි මතධාරියෙකු ලෙස සැලකෙන අතර, රෙසායි පත් කිරීම හරහා ඉරානයේ යුදමය ස්ථාවරය තවදුරටත් දැඩි වනු ඇති බව විශ්ලේෂකයින් පවසති.
මීට පෙර ඉරාන ජනාධිපතිවරණ කිහිපයකට ඉදිරිපත් වී පරාජයට පත් වූ 71 හැවිරිදි රෙසායි, දැඩි බටහිර විරෝධී මතධාරියෙකු ලෙස ප්‍රකටය. පසුගිය වසරේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ පකිස්ථානය ඉරානය වෙනුවෙන් ඊශ්‍රායලයට පරමාණුක බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවයි. ඔහු පසුගිය මාර්තු 1 වැනිදා ප්‍රකාශ කළේ මෙතැන් සිට පර්සියානු ගල්ෆ් කලාපයට අමෙරිකානු නෞකාවලට ඇතුළුවීමට ඉඩ නොදෙන බවයි.
මෙම පත්වීම සිදුවන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කර ඇති සහ බටහිර බලවතුන් සමඟ දැඩි යුදමය උණුසුමක් පවතින තීරණාත්මක මොහොතක වීම විශේෂත්වයකි.














