ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ඉදිරි පැය 24ක කාලය ඇතුළත තෝරා පත් කර ගැනීමට ඉඩ ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායට (IRGC) අනුබද්ධ Fars පුවත් සේවය වාර්තා කර තිබේ. උත්තරීතර නායකයා තෝරා පත් කර ගන්නා මණ්ඩලයේ සාමාජිකයෙකු උපුටා දක්වමින් මෙම පුවත ප්‍රකාශයට පත් කර ඇත.
ඉරාන විශේෂඥ මණ්ඩලයේ (Assembly of Experts) සාමාජිකයෙකු වන හොසේන් මොසාෆරි (Hossein Mozzafari) මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, නව නායකයා පත් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් සිදුවෙමින් පවතින බවයි. එමෙන්ම මෙම සංවේදී ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව විවිධ අනුමාන කිරීම්වලින් වැළකී සිටිය යුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය මධ්‍යයේ ඉරානයේ නායකත්වයේ සිදුවන මෙම වෙනස ජාත්‍යන්තර දේශපාලනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














