ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිල ඉහළ යාම, නැගී එන වෙළෙඳපොළවල් (Emerging Markets) සහිත රටවල උද්ධමනයට පමණක් නොව, ඔවුන්ගේ විදේශ සංචිත, මුදල් ඒකක සහ ප්‍රාග්ධන ගලා ඒම කෙරෙහි ද බරපතල බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට ඉරානය කළ තර්ජනයත් සමඟ, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා යා හැකි බව J.P. Morgan සහ Bernstein වැනි ප්‍රධාන මූල්‍ය ආයතන පුරෝකථනය කරයි. දැනටමත් බොරතෙල් මිල 7.2% කින් ඉහළ ගොස් ඩොලර් 83.36 ක් ලෙස වාර්තා වන අතර, එය 2024 වසරෙන් පසු වාර්තා වූ ඉහළම අගයයි.
ගෝලීය වශයෙන් තෙල් මිල 10% කින් ඉහළ යාම නැගී එන ආර්ථිකයන්හි ජංගම ගිණුම් ශේෂයන් (Current account balances) 40-60 පදනම් අංකයකින් (basis points) පහත හෙළීමට සමත් වන බව ING ආයතනය පෙන්වා දෙයි. මේ හමුවේ තායිලන්තය, වියට්නාමය, දකුණු කොරියාව සහ පිලිපීනය වැනි රටවල් වැඩිම අවදානමකට ලක්ව ඇත. ඉන්දියාව වැනි රටවල් ද සිය අවම තෙල් සංචිත හේතුවෙන් සැපයුම් බාධාවලට සෘජුවම ගොදුරු විය හැකි බව විශ්ලේෂකයෝ පවසති. ආයෝජකයන් සිය මුදල් වඩාත් ආරක්ෂිත අමෙරිකානු ඩොලර් වෙත යොමු කිරීම නිසා නැගී එන රටවල කොටස් වෙළෙඳපොළවල් ද පසුගිය සති තුන තුළ අවම මට්ටමකට වැටී තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, ආර්ජන්ටිනාව, පකිස්ථානය සහ තුර්කිය වැනි විදේශ සංචිත අවම මට්ටමක පවතින රටවල් මෙම තෙල් මිල ඉහළ යාම හමුවේ දැඩි අර්බුදයකට මුහුණ දෙන බව Citigroup ආයතනය අනතුරු අඟවයි. මෙම රටවල මුදල් ඒකක තවදුරටත් කඩා වැටීමේ සහ විදේශ ප්‍රාග්ධනය රටවලින් ඉවතට ගලා යාමේ (Capital outflows) අවදානම මෙහිදී වැඩි වශයෙන් අවධාරණය කර ඇත. ගෝල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) ඇස්තමේන්තුවලට අනුව, බොරතෙල් මිල මෙලෙස ඉහළ යාම ආසියානු කලාපයේ උද්ධමනය 0.7% කින් ඉහළ නැංවීමට සහ ආර්ථික වර්ධනය 0.5% කින් අඩු කිරීමට හේතු වනු ඇත.












