මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා මැදිහත් වීම් හෝ සාම සාකච්ඡා ආරම්භ කිරීමට ප්‍රථම පාර්ශවයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍ය සාධකයක් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් මහතා ප්‍රකාශ කර තිබේ. පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් මහතා සමඟ අද (28) පැයකට අධික කාලයක් පැවැති විශේෂ දුරකථන සාකච්ඡාවකදී ඉරාන ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළ බව පකිස්ථාන අගමැති කාර්යාලය නිවේදනය කරයි. කලාපීය ගැටුම් නිමා කිරීම සඳහා පකිස්ථානය දරනු ලබන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් මෙහිදී ඉරාන ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්ව ඇත.
මෙම සාකච්ඡාවේදී අගමැති ෂරීෆ් මහතා විසින් අමෙරිකා එක්සත් ජනපදය සහ ගල්ෆ් කලාපීය රටවල් සමඟ පකිස්ථානය පවත්වා ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල වත්මන් තත්ත්වය පිළිබඳව ඉරාන ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ. කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින සතුරුකම් පාලනය කිරීම සහ සාමය උදෙසා ගත හැකි ඉදිරි පියවර පිළිබඳව නායකයන් දෙපල දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත. පකිස්ථානය මෙම අර්බුදයේදී මධ්‍යස්ථ සහ සාමකාමී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් බවත්, ඉරානය ඇතුළු කලාපීය බලවතුන්ගේ සහයෝගය ඒ සඳහා අපේක්ෂා කරන බවත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.














