ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (04) සවස ටෙහෙරාන් නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍ය උත්සවය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරයි. පසුගිය සති අන්තයේ අමෙරිකානු සහ ඉශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් එතුමා මියගිය බව තහවුරු වීමෙන් පසු, දින තුනක කාලයක් පුරා මෙම “සමුගැනීමේ උත්සවය” පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණි.
මෙම කල් දැමීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ උත්සවය සඳහා අපේක්ෂිත අතිවිශාල ජනකාය (Unprecedented turnout) පාලනය කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් විධිමත් කිරීමට සංවිධායක මණ්ඩලයට තවදුරටත් කාලය අවශ්‍ය වීමයි. “මියගිය ඉමාම්වරයා වෙනුවෙන් පැවැත්වෙන සමුගැනීමේ උත්සවය කල් දමා ඇති අතර, ඒ සඳහා වන නව දිනය පසුව දැනුම් දෙනු ඇත,” යනුවෙන් ඉරාන බලධාරීන් ප්‍රකාශ කර සිටියි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපවලට අනුව ටෙහෙරාන් නගරයේ ප්‍රධාන මාවත් සහ ඉමාම් කොමේනි යාඥා මධ්‍යස්ථානය (Mosalla) කළු කොඩි සහ බැනර්වලින් සරසා අවසන් සූදානමක පවතී.
කමේනි මහතාගේ වියෝවත් සමඟ ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔහුගේ පුත් මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) පත් වීමේ වැඩි ඉඩකඩක් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, ඉරානය පුරා පවතින දැඩි යුදමය නොසන්සුන්තාව සහ අමෙරිකා-ඉශ්‍රායල ප්‍රහාර මාලාවන් නිසා මෙම අවමංගල්‍ය කටයුතු පවත්වන ආරක්ෂිත වාතාවරණය පිළිබඳව ද රජයේ අවධානය යොමු වී ඇත. නව දිනයක් ප්‍රකාශයට පත් කරන තෙක් ඉරාන වැසියන් සිය නායකයා වෙනුවෙන් ශෝකය පළ කරමින් ටෙහෙරාන් නගරයට එක්රැස් වෙමින් පවතී.














