මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය ආතතිය සමනය කිරීම සඳහා රටවල් කිහිපයක් මැදිහත් වීමේ උත්සාහයක නිරත වන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) මහතා අද (06) ප්‍රකාශ කළේය. X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර මෙම මැදිහත් වීම් ආරම්භ වී ඇති බවයි.
ඉරානය බටහිර ආසියාවේ ස්ථාවර සාමය වෙනුවෙන් කැපවී සිටින බවත්, සාමය සඳහා වන ඕනෑම මැදිහත් වීමකට තම ප්‍රතිචාරය පැහැදිලි බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, තම රටේ ගෞරවය සහ අධිකාරී බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කිරීමට ඉරානය කිසිසේත් පසුබට නොවන බව ඔහු අවධාරණය කළේය.
මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සාම මැදිහත්කරුවන්ගේ මූලික අවධානය යොමු විය යුත්තේ ඉරාන ජනතාව අවතක්සේරු කරමින් මෙම ගැටුම ආරම්භ කළ පාර්ශවයන් වෙත බවයි. මෙම යුද ගින්න ඇවිලවූවන් සාමයට යොමු කිරීම මැදිහත්කරුවන්ගේ වගකීම බව ඔහු පෙන්වා දුන්නේය.














