පවතින දැඩි යුදමය වාතාවරණය මධ්‍යයේ වුවද සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹීමට තමන් සූදානම් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ලෝක බලවතුන් වෙත ඉඟි පළ කර තිබේ. රුසියානු සහ පාකිස්ථාන රාජ්‍ය නායකයින් සමග පැවැත්වූ විශේෂ දුරකථන සංවාදයකදී ඔහු මේ බව අනාවරණය කර ඇති අතර, එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ සාකච්ඡා මේසයට පැමිණීමට නම් ප්‍රධාන කොන්දේසි තුනක් අනිවාර්යයෙන්ම සම්පූර්ණ විය යුතු බවයි. ඉරානයේ ජාතික අයිතිවාසිකම් සහ ස්වෛරීභාවය පූර්ණ ලෙස පිළිගැනීම ඉන් පළමු වැන්න වන අතර, අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ යටිතල පහසුකම් හා ආර්ථික හානි සඳහා නිසි වන්දි ගෙවීම දෙවන කොන්දේසියයි. එමෙන්ම අනාගතයේදී මෙවැනි ආක්‍රමණශීලී ප්‍රහාර නැවත සිදු නොවන බවට ශක්තිමත් ජාත්‍යන්තර නීතිමය සහතිකයක් ලබා දීමද අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
බටහිර රටවල් සහ ඊශ්‍රායලය කෙරෙහි තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බව අවධාරණය කළ ඉරාන ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග කලාපීය දේශපාලනය උණුසුම් වී තිබේ. මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පවතින තත්ත්වය පිළිබඳ දැඩි ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉතිහාසයේ කිසිදු රටකට එල්ල නොකළ අන්දමේ දරුණු ප්‍රහාරයක් තමන් ඉරානයට එල්ල කර ඇති බවයි. යුද්ධය මෙතෙක් අවසන් කර නොමැති බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමග මැදපෙරදිග සාමය පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් අවිනිශ්චිත මට්ටමක පවතින බව විදේශ වාර්තා පෙන්වා දෙයි.














