මේ දක්වා ඉරානය වෙත එල්ල වූ ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් ඒකක 6,668ක් ඉලක්ක වී ඇති බව ඉරාන රතු අඩ සඳ සංගමය (Red Crescent) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රහාරයන්ගෙන් බහුතරයක් නේවාසික ප්‍රදේශ ඉලක්ක කරගෙන ඇති අතර, සිවිල් ජනතාව ජීවත් වන නේවාසික ඒකක 5,535ක් මෙලෙස විනාශයට හෝ හානියට පත්ව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
ඉරාන රතු අඩ සඳ සංගමය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නේවාසික ඒකකවලට අමතරව වාණිජ සහ වෙළඳ ඒකක 1,041ක්, වෛද්‍ය මධ්‍යස්ථාන 14ක් සහ පාසල් 65ක් ද මෙම ප්‍රහාරවලින් ඉලක්ක වී ඇති බවයි. වඩාත් කනගාටුදායක තත්ත්වය වන්නේ සහන සේවා සපයන ඉරාන රතු ක්‍රෙසන්ට් සංගමයට අනුබද්ධ මධ්‍යස්ථාන 13ක් ද මෙම ප්‍රහාරයන්ට ගොදුරු වී තිබීමයි. මෙම දැවැන්ත සිවිල් හානිය හමුවේ ඉරානයේ මානුෂීය අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව සහන සේවා කණ්ඩායම් අනතුරු අඟවයි.














