ඉරානය සහ අමෙරිකාව අතර පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ, කිසිදු ආකාරයක තාවකාලික සටන් විරාමයකට (Temporary ceasefire) එකඟ නොවන බව ඉරානය අද නිල වශයෙන් ප්‍රකාශ කළේය. ප්‍රකට මාධ්‍යවේදී මාරියෝ නව්ෆල් (Mario Nawfal) සහ අල් ජසීරා (Al Jazeera) වාර්තාවලට අනුව, ඉරානය පවසන්නේ යුද්ධය සම්පූර්ණයෙන්ම සහ ස්ථිරවම අවසන් කරන්නේ නම් (Permanent end to the war) පමණක් තමන් සාකච්ඡා මේසයට පැමිණෙන බවයි.
ඉරාන රජයේ නිල පුවත් ඒජන්සියක් වන ISNA උපුටා දක්වමින් මෙම වාර්තා පෙන්වා දෙන්නේ, යුද්ධයට “විරාමයක්” (Pause) ලබා දීම හෝ තාවකාලිකව ප්‍රහාර නතර කිරීම (Reset) ඉරානය ප්‍රතික්ෂේප කර ඇති බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති ‘අවසන් හෝරාව’ (Deadline) එළඹීමට පැය කිහිපයක් තිබියදීත් ඉරානය මෙලෙස සිය ස්ථාවරය දැඩි කිරීම, කලාපීය සාමය පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් අවම කර තිබේ.
අද දිනය පුරාම ඉරානය විසින් ඊශ්‍රායලයට සහ සෞදි අරාබියේ ජුබයිල් (Jubail) කාර්මික කලාපයට මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, ඉරානය පවසන්නේ තමන් තවමත් යුදමය වශයෙන් ශක්තිමත් බවයි. යුරෝපීය මිත්‍ර රටවල් වන බ්‍රිතාන්‍යය සහ ඉතාලිය ද සිය කඳවුරු හරහා ඉරානයට පහර දීමට අමෙරිකාවට අවසර ලබා දීම සීමා කර ඇති පසුබිමක, ඉරානය මෙම දැඩි කොන්දේසිය ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x), ISNA සහ al jazeera ඇසුරින්














