හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කරනු ලබන්නේ තමන්ට සිදුවූ යුද හානි වෙනුවෙන් වන්දි ගෙවීමෙන් පසුව පමණක් බව ඉරාන ජනාධිපති කාර්යාලයේ සන්නිවේදන නියෝජ්‍ය ප්‍රධානී සෙයියඩ් මෙහ්දි තබටාබායි (Seyyed Mehdi Tabatabaei) ප්‍රකාශ කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ මෙම වන්දි මුදල් ප්‍රවාහන ගාස්තු මත පදනම් වූ “නව නීතිමය පද්ධතියක්” හරහා ගෙවිය යුතු බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට එරෙහිව ඉරානයේ සිවිල් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (අප්‍රේල් 05) පෙරවරුවේ සිදු කළ තර්ජනාත්මක ප්‍රකාශයට පිළිතුරු දෙමින් තබටාබායි සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් කියා සිටියේ, අමෙරිකානු ජනාධිපතිවරයා දැඩි බලාපොරොත්තු සුන්වීම සහ කෝපය නිසා මෙලෙස අසභ්‍ය සහ අර්ථ විරහිත ප්‍රකාශ සිදු කිරීමට පෙළඹී ඇති බවයි.













