මැදපෙරදිග කලාපයේ ස්ථාපිත අමෙරිකානු යුද කඳවුරු ඉලක්ක කර ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් යුද්ධයේ මුල් සති දෙක තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 800ක (පවුම් මිලියන 600ක) දේපළ හානියක් සිදුව ඇති බව බීබීසී පුවත් සේවය සහ උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (CSIS) සිදුකළ නවතම විශ්ලේෂණයකින් හෙළි වී තිබේ. මෙය මීට පෙර ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි අගයකි.
මෙම හානියෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජෝර්දානයේ පිහිටි අමෙරිකානු ගුවන් කඳවුරක ස්ථාපිත කර තිබූ ‘තාඩ්’ (Thaad) මිසයිල ආරක්ෂණ පද්ධතියේ රේඩාර් යන්ත්‍රයකට එල්ල වූ ප්‍රහාරයෙනි. පෙන්ටගන වාර්තාවලට අනුව එම රේඩාර් පද්ධතියේ වටිනාකම පමණක් ඩොලර් මිලියන 485ක් පමණ වේ. මීට අමතරව කුවේට්, කටාර් සහ සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු කඳවුරුවල යටිතල පහසුකම්වලට ද දැඩි හානි සිදුව ඇති බව චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින් තහවුරු වී ඇත.
පෙබරවාරි 28 වැනිදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමෙන් පසු මේ වන විට අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 3,200කට ආසන්න වී තිබේ. යුද්ධයේ පළමු දින 12 සඳහා පමණක් අමෙරිකාවට ඩොලර් බිලියන 16.5ක පිරිවැයක් දැරීමට සිදුව ඇති අතර, පෙන්ටගනය මේ වන විට තවත් ඩොලර් බිලියන 200ක අමතර ප්‍රතිපාදන ඉල්ලා ඇත.














