ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායලය සහ ඒ අවට කලාපීය රටවල් ඉලක්ක කර ගනිමින් දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. මෙම ප්‍රහාර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සහ ඩුබායි නගරවල මෙන්ම කටාර් සහ කුවේට් රාජ්‍යයන්හි ද ප්‍රබල පිපිරීම් සිදුව ඇති බව වාර්තා වේ. අබුඩාබි නුවර සිදුවූ පිපිරීමකින් ආසියානු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වී ඇති අතර, මෙය මෙම ගැටුම් මාලාවේ සිදුවූ පළමු සිවිල් මරණය ලෙස සැලකේ.
බහරේනයේ පිහිටි ඇමරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානය වෙත ද මිසයිල ප්‍රහාර එල්ල වී ඇති අතර, ඒ සමඟම එරට වැසියන්ගේ ජංගම දුරකථන වෙත හදිසි ආරක්ෂක සංඥා (Sirens) නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. පවතින දැඩි අවදානම හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල් සියලුම ගුවන් කලාප වසා දැමීමට කටයුතු කර ඇත. මේ හේතුවෙන් එයාර් ඉන්දියා (Air India) සහ ඉන්ඩිගෝ (IndiGo) ඇතුළු ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් අතරමගදී හරවා එවා ඇති අතර ගෝලීය ගුවන් ගමන් ජාලයට දැඩි බාධා එල්ල වී තිබේ.
මේ අතර, ඉරානය තුළ පවතින තත්ත්වය වාර්තා කිරීම වැළැක්වීම සඳහා එරට අන්තර්ජාල පහසුකම් සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව ‘නෙට්බ්ලොක්ස්’ (Netblocks) ආයතනය තහවුරු කරයි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් මෙම ප්‍රහාරවලින් මියගිය බවට ඊශ්‍රායලය පවසන නමුත් ඉරානය එය මෙතෙක් තහවුරු කර නොමැත. මැදපෙරදිග කලාපය පුරා යුද සයිරන් නාදය දෝංකාර දෙන පසුබිමක, ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස ඊශ්‍රායල සහ බහරේන බලධාරීන් සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ.















