තවදුරටත් ඉරාන නායකයන් ඉලක්ක කර ගනිමින් ඝාතන සිදු කළහොත් Apple, Google සහ Meta වැනි ප්‍රමුඛ පෙළේ ඇමෙරිකානු තාක්ෂණික සමාගම් වෙත ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඊයේ (31) ප්‍රකාශ කළේය. මෙම ආයතනවල සේවය කරන සේවකයන්ට සිය ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වහාම සේවා ස්ථානවලින් ඉවත් වන ලෙස ද ඔවුහු දැනුම් දී තිබේ.
ඉරාන වේලාවෙන් අද (අප්‍රේල් 01) පස්වරු 8:00 සිට ක්‍රියාත්මක වන පරිදි, ඉරානය තුළ සිදුවන සෑම ඝාතනයකටම ප්‍රතිචාර වශයෙන් අදාළ සමාගම්වල ඒකක විනාශ කරන බව විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කළේය. Apple, Google, Meta, Intel, Microsoft, Oracle, Tesla, Palantir සහ Nvidia ඇතුළු සමාගම් 18ක් මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, ඉරාන නිලධාරීන් හඹා යාමට සහ ඝාතන සැලසුම් කිරීමට මෙම සමාගම් සහාය වන බවට ඔවුහු චෝදනා කරති.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) පවසන්නේ තමන් මෙම ගැටුම අවසන් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන බවයි. එහෙත් ඒ සමඟම ඉරානයට එරෙහි අමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ මෙහෙයුම් තවදුරටත් තීව්‍ර කරන බවට ද ඔහු අනතුරු අඟවා ඇත. ඉරාන බලධාරීන් පවසන්නේ තාක්ෂණික සමාගම් තම මෙහෙයුම් නතර කරන ලෙස කළ නැවත නැවතත් කළ අනතුරු ඇඟවීම් නොසලකා හැර ඇති බැවින් මෙම පියවර ගන්නා බවයි.















