ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ ෆාර්ස් පුවත් ඒජන්සිය වාර්තා කරන පරිදි, පසුගිය පැය 24ක කාලය තුළ ඉරානයේ අවසරය ඇතිව නෞකා 15ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර තිබේ. කෙසේ වෙතත්, වත්මන් යුද තත්ත්වය ආරම්භ වීමට පෙර පැවති සාමාන්‍ය නෞකා ගමනාගමනයට සාපේක්ෂව මෙය 90%ක සැලකිය යුතු පහත වැටීමක් බව එම වාර්තාවල සඳහන් වේ.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චී ඇතුළු නිලධාරීන් අවධාරණය කරන්නේ මෙම වැදගත් මුහුදු මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා නොමැති බවත්, එය වසා ඇත්තේ “සතුරු රටවල්” සඳහා පමණක් බවත්ය. මෙහිදී ඉරාකය වැනි මිත්‍ර රටවල් සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට ද ඉරානය පියවර ගෙන ඇත.
මීට අමතරව, හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිතා කරන නෞකා සඳහා ගාස්තුවක් (Toll) අයකිරීම පිළිබඳව ද ඉරාන බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. යුද්ධයෙන් සිදුවූ හානි සඳහා වන්දි ලබාගැනීමට එම ගාස්තුවෙන් කොටසක් යොදාගත හැකි බවත්, එවැනි එකඟතාවයකින් පසුව සමුද්‍ර සන්ධිය යළි විවෘත කළ හැකි බවත් ඉරාන ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.














