ඉරානයේ මධ්‍යම ප්‍රදේශයට ඉහළින් පියාසර කරමින් තිබූ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානයක් (F-35 Fighter Jet) සාර්ථකව බිම හෙළූ බව ඉරානය අද (03) උදෑසන ප්‍රකාශ කර තිබේ. මෙය ඇමරිකාවට අයත් මෙවැනි ප්‍රහාරක යානයක් බිම හෙළූ දෙවන අවස්ථාව බව ඉරානයේ මෙහර් (Mehr) පුවත් ඒජන්සිය වාර්තා කරයි.
මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති අතර, ඉරානය විසින් ඊශ්‍රායලය සහ තවත් ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. අද උදෑසන ඉරානයේ ටෙහෙරාන් (Tehran) අගනුවර සහ ඉස්ෆහාන් (Isfahan) නගරය ආසන්නයේ ප්‍රබල පිපිරුම් හඬවල් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, ඉරාන ඩ්‍රෝන යානා මගින් කුවේටයේ මිනා අල් අහමදි (Mina al-Ahmadi) තෙල් පිරිපහදුවට ද ප්‍රහාර එල්ල කර ඇති අතර, එමගින් එහි විශාල ගින්නක් හටගෙන තිබේ. කුවේට් ඛනිජ තෙල් සංස්ථාව (KPC) මෙම ප්‍රහාරය තහවුරු කර ඇති අතර, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන කණ්ඩායම් යොදවා ඇත. මෙම ප්‍රහාරයත් සමඟ ඇමරිකාව සිය හමුදා ශක්තිය බටහිර ආසියානු කලාපය තුළ තවදුරටත් වර්ධනය කිරීමට පියවර ගනිමින් සිටී.
















